නස්රුදින් ගල් ගුහාවක් ඉදිරියෙන් යද්දී ඒ ඇතුළෙ භාවනානුයෝගීව හිටි සාධුවරයකු දැක්කා. තමන් යන ගමන නතර කළ නස්රුදින් ඒ සාධුවරයාගෙන් මෙහෙම ඇහුවා:
“ඔබතුමා භාවනා කරන්නේ මොනවා ගැනද? මොන ක්‍රමයෙන් ද ඔබතුමා ආධ්‍යාත්මික සුවයක් සොයන්නේ?“
“මම සතුන් අරමුණු කර ගෙන භාවනා කරනවා. මිනිසාගේ ජීවිතය වෙනස් කළ හැකි ආකාරය ගැන. බොහෝ පාඩම් ඒ සතුන්ගෙන් මා ඉගෙන ගන්නවා. මගේ ජීවිතය ගලවාගන්නට ඒ සතුන් මට උදවු වෙනවා.“ යෝගී සාධුවරයා කීවා.
“ඒක ඇත්ත! මගේ ජීවිතේ බේරා ගන්න උදවු වුණෙත් මාළුවෙක්!“ නස්රුදින් කිව්වා.
ඒ කතාවට සාධුවරයා මවිතය පළ කළා. මාළුවකු මෙයාව බේරා ගත්තා නම් මෙයා සාන්තුවරයෙකු වෙන්න ඕනෑ කියලා හිතලා නස්රුදින් දිහා මහත් ගෞරවයකින් යුක්තව බැලුවා. එහෙම බලලා මෙහෙම ඇහුවා:
“කොහොමද ඒ මහා හාස්කම සිද්ධ වුණේ? මට විස්තර කියන්න.“ සාධුවරයා බැගෑපත් වුණා.
“ඒක කියන්න කලින් ඔබතුමා දන්න සියල්ල මට උගන්වන්න.“ නස්රුදින් කිව්වා.
තමන් ඉදිරියේ ඉන්නේ මහා නැණවතෙක්, සාන්තුවරයෙක් කියලා සත්‍ය වශයෙන්ම පිළිගත් ඒ සාධුවරයා කිසිම පැකිළීමකින් තොරව අවුරුදු ගානක් තිස්සේ තමන් ඉගෙන ගත් හැම දෙයක් ම නස්රුදින්ට කියා දුන්නා.
අවසානයේ දි සාධුවරයා මහත් ගරුසරු ඇතිව නස්රුදින් අමතා මොහෙම කිව්වා. “ජීවිත කාලය පුරා ම මා දැන කියා ගත් හැම දෙයක් ම ඔබතුමාට මම උගන්නලා ඉවරයි. දැන් ඔබ තුමා මට කියන්න ඕනෑ ඒ මහා හාස්කම ගැන. මාළුවා ඔබ තුමාගේ ජීවිතය බේරා දුන් හැටි ගැන.“
“ඒක හරිම සුළු දෙයක් නෙ.“ නස්රුදින් කීවා. “මං බඩගින්නෙ මැරෙන්න තරම් අමාරුවෙන් හිටියෙ, ඒ මාළුවා හම්බ වෙන කොට. ඌ දිවි පුදා මාව බේරුවා. ඌ කෑවාම දවස් තුන හතරකට මගේ ජීවිතේ බේරුණා.“
0 Comments